බලපත්‍රලාභි වාණිජ බැංකු 1 කොටස

 

බලපත්‍රලාභි වාණිජ බැංකු යනු

බලපත්‍රලාභි වාණිජ බැංකු යනු ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් හා අනෙකුත් තැන්පතු ගිණුම් පවත්වා ගෙන යමින් මුදල් මැවීමේ හැකියාව ඇති විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමේ හැකියාව ඇති මූල්‍ය ආයතන විශේෂය කි.

ශ්‍රී ලංකාවේ ආරම්භ කරන සෑම වාණිජ බැංකුවක් ම ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු බැවින් ඒවා බලපත්‍රලාභි වාණිජ බැංකු ලෙස හඳුන්වයි.

2021 මාර්තු 31 වන විට ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභි වාණිජ බැංකු 24 ක් පවති. එම බැංකු වන්නේ

01. අමානා බෑන්ක් පි.එල්.සි.         

02. ලංකා බැංකුව                          

03. බෑන්ක් ඔප් චයිනා ලිමිටඩ් 

04. කාගීල්ස් බෑන්ක් ලිමිටඩ් 

05. සිටි බෑන්ක් එන් ඒ 

06. කොමර්ෂල් බෑන්ක් ඔප් සිලෝන් පී. එල්.සි 

07. ඩොයිෂ් බෑන්ක් ඒ.පි 

08. ඩි.එප්.සී.සී. බෑන්ක් පී.එල්.සි

09. හබීබ් බෑන්ක් ලිමිටඩ්

10. හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සි

11. ඉන්දියන් බෑන්ක් 

12. ඉන්දියන් ඔවර්සීස් බෑන්ක්  

13. එම්.සී. බී. බෑන්ක් ලිමිටඩ්.

14. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක්  

15. නේෂන් ට්‍රස්ට් බෑන්ක් පි.එල්.සි     

16. පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී.එල්.සී 

17. මහජන බැංකුව 

18. පබ්ලික් බෑන්ක් බර්හාඩ් 

19. සම්පත් බෑන්ක් පී..සී. 

20. සෙලාන් බෑන්ක් පී.එල්සී 

21.ස්ටෑන්ඩ් චාර්ටඩ් බෑන්ක්. 

22. ස්ටේට් බෑන්ක් ඔප් ඉන්දියා. 

23. ද හොංකොං අන්ඩ් ෂැංහයි බෑන්කින් කෝපරේෂන්  

24. යුනියන් බෑන්ක් කලම්බු පී.එල්.සි

 

වාණිජ බැංකු සපයන ප්‍රධාන සේවා දෙක.

01. තැන්පතු ආශ්‍රිත සේවා

02. ණය ආශ්‍රිත සේවා.

 

01. තැන්පතු ආශ්‍රිත සේවා යනු

1. ඉතිරිකිරිමේ තැන්පතු:- Savings Accounts)

2. ස්ථාවර තැන්පතු :- Fixed Deposits

3. ජංගම ගිණුම් (ඉල්ලුම් තැන්පතු) – Current Account

ආදි තැන්පතු පවත්වා ගෙන යාම වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන තැන්පතු ආශ්‍රිත සේවා වේ.

 

1. ඉතිරිකිරිමේ තැන්පතු:- Savings Accounts

ඉතිරිකිරිමේ පරමාර්ථයෙන් හඳුන්වා දී ඇති මෙම ගිණුම් වර්ගයට ශේෂය මත පොලියක් හිමි වේ. තැන්පතු කරුගේ අභිමතය පරිදි මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම කළ හැකි ය. ටෙලර්පත් මගින් ගනුදෙනු කළ හැකි ය.

උදා:-

  • ධන ආයෝජන ඉතිරි කිරීමේ ගිණුම්

  • කාන්තාවන් සඳහා වන ඉතුරුම් ගිණුම්

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්

ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර පවත්වා ගෙන යන පුද්ගලයෙකුට ලබා ගත හැකි ප්‍රයෝජන/ මුදල්වලට ආරක්ෂාවක් ලැබීම

  • පොලි ආදායමක් ලැබීම

  • ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට සහ ආපසු ලබා ගැනීමට හැකි වීම.

  • ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර මගින් ගනුදෙනු කළ හැකි ය.

  • හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම.

2. ස්ථාවර තැන්පතු :- Fixed Deposits

නිශ්චිත කාලපරිච්ඡේදයක් සහා නිශ්චිත මුදල් ප්‍රමාණයක්, නිශ්චිත පොලියක් යටතේ තැන්පතු කිරීමකි. ඉතිරි කිරීමේ තැන්පතුවලට සාපේක්ෂව ඉහළ පොලියක් හිමි වේ.

ස්ථාවර තැන්පතුවල විශේෂ ලක්ෂණ

  • යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වා ගෙන යාම.

  • තැන්පතු කාලය සහ මුදල අනුව පොලි ප්‍රතිශතය වෙනස් වීම

  • සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට වඩා වැඩි ප්‍රතිශතයක් යටතේ පොලී හිමි වීම.

  • ස්ථාවර තැන්පතුව ඇපයට තබා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම.

  • පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ ගිවිස ගත් පරිදි ලබාගත හැකි වීම.

  • තැන්පත් කළ දිනය, තැන්පත් කළ මුදල, පොලිය සහ කල් පිරෙන දිනය යන විස්තර ඇතුළත් සහතිකයක් බැංකුව විසින් ලබා දීම.

ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා බැංකුව වෙත ලබා දිය යුතු ලිපි හා ලේඛන

  • තැන්පතුව විවෘත කිරීමේ අයදුම්පත,

  • මුදල් තැන්පතු පත.

  • දේශීය ආදායම් පනතට අනුව කෙරෙන ප්‍රකාශය

  • ගනුදෙනු කරු පිළිබඳ තොරතුරු පත්‍රිකාව

  • ජාතික හැඳුනුම්පත



3. ජංගම ගිණුම් (ඉල්ලුම් තැන්පතු)– Current Account

චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ පහසුකම් ඇති, ශේෂය මත පොලි හිමි නොවන ගිණුම් වර්ගයකි. බැංකු අයිරා පහසුකම් සැලසෙන අතර ටෙලර්පත් භාවිතයෙන් ගනුදෙනු කළ හැකි ය.

ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේ ද?

වාණිජ බැංකුවේ දැනටමත් සක්‍රියව ජංගම ගිණුමක් පවත්වා ගෙන යන අයකු විසින් ඒ සඳහා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර නව ගනුදෙනු කරු (ජංගම ගිණුමක් විවෘත කිරීමට බලාපොරොත්තුව වන පුද්ගලයා) බැංකුවට හඳුන්වා දිය යුතු ය.

ඉන් පසු බැංකුව වෙත ජංගම ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, මුදල් තැන්පතු පත සහ අත්සන් පත්‍රිකාව සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පත සමඟ භාර දිය යුතු ය.

ජංගම ගිණුම් පවත්වා ගෙන යාමෙන් ව්‍යාපාරිකයින්ට ලබා ගත හැකි පහසුකම් කිහිපයක්

01. චෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම :- ජංගම ගිණුම් සමග ගනුදෙනු කරනුයේ චෙක්පත් මගිනි.

02. ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම :- ජංගම ගිණුමට ලැබීමට ඇති මුදල් සෘජු වම ගිණුමට ගෙන්වා ගත හැකි වීම මෙන් ම ණයගැතියන් විසින් සෘජු වම ගිණුමට මුදල් බැර කිරීම.

03. නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම :- ගිණුම් හිමියාට සෑම මසක ම නිශ්චිත දිනවල ගෙවීමට ඇති යම් යම් ගෙවීම් තම ජංගම ගිණුමේ ඇති මුදල්වලින් ගෙවීමට බැංකුව වෙත නියෝග ලබා දීම මගින් සෑම මසක ම එම ගෙවීම් ස්වයංක්‍රීය ව සිදු වීමට සැලැස්වීම. උදාහරණ ලෙස සෑම මසක ම ගෙවිය යුතු රක්ෂණ වාරිකය, ලිසිං වාරිකය, විදුලි බිල්පත, ආදිය.

ගිණුම් හිමියා එක් වරක් බැංකුව වෙත එවැනි ස්ථාවර නියෝගයක් ලබා දුන් පසු නැවත දන්වන තුරු එම ගෙවීම සෑම මසක ම නිශ්චිත දිනක දි අඛණ්ඩව සිදු වේ. මේ සඳහා ප්‍රමාණවත් මුදලක් ජංගම ගිණුමෙහි පැවතිය යුතු ය.

04. අයිරා පහසුකම් ලබා ගත හැකි වීම. :- ගිණුමේ ඇති ශේෂය ඉක්මවා කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට වාණිජ බැංකුව ලබා දෙන අනුමැතිය.

05. බැංකු සමග කළ ගනුදෙනුවල වාර්තාවක් ලබා ගත හැකි වීම:- සෑම මාසයක් අවසානයේ ම බැංකු ගිණුම් හිමියාගේ ගිණුමෙන් සිදු වු ගනුදෙනු සියල්ල ඇතුලත් ප්‍රකාශනයක් බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවීම.

ජංගම ගිණුම් මත ලබා ගත හැකි අයිරා පහසුකම්

බැංකු අයිරා පහසුකම් යනු බැංකු ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවා කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට වාණිජ බැංකු මගින් ලබා දෙන අනුමැතියකි. මේවා තාවකාලික අයිරා පහසුකම් සහ ස්ථාවර අයිරා පහසුකම් ලෙස වර්ග දෙකකි.

තාවකාලික අයිරා පහසුකම් යනු :- ස්ථාවර අයිරාවක් නොමැතිව ශේෂයට වඩා චෙක්පත් නිකුත් වී ඇති විට බැංකුව යම් ප්‍රමාණයක් දක්වා මුදල් ගෙවීමයි.

ස්ථාවර අයිරා පහසුකම් යනු :- අඛණ්ඩව කිසියම් අයිරා පහසුකමක් ලබා දීමයි. ස්ථාවර අයිරා පහසුකම ලබා ගැනීමේ දි වත්කම් ඇප තැබීම අවශ්‍ය වේ.

අයිරා පහසුකම් ලබා දී ඇති විටක එම ප්‍රමාණය දක්වා ගනුදෙනුකරුවන්ගේ චෙක්පත් ගෙවීම බැංකුව විසින් කරනු ලැබේ. එසේ ජංගම ගිණුම් හිමියා ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා නිකුත් කරන ලද චෙක්පත්වල වටිනාකම බැංකු අයිරාව ලෙස හැදින්වේ. අයිරා සඳහා ඉහළ පොලියක් අය කෙරේ.

බැංකු විසින් ලබා දෙන බැංකු ණය

බැංකු ණය යනු කිසියම් පොලි ප්‍රතිශතයක් යටතේ ලබා ගන්නා ණය මුදල හා ඊට අදාළ පොළිය ආපසු ගෙවීමට යටත් ව ගිවිස ගත් කොන්දේසි යටතේ බැංකුවක් විසින් දෙනු ලබන මුදලකි. බැංකු ණය වර්ග දෙකකි.

01. ව්‍යාපාරික ණය :- පුද්ගලයෙකුට හෝ ආයතනයකට තම ව්‍යාපාරික කටයුතු සඳහා කෙටි කාලීන ව, මධ්‍ය කාලීන හා දිගු කාලීන ව අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම වේ.

02. පාරිභෝගික ණය යනු :- වත්කම් මිලට ගැනීමට හා හදිසි ආපදාවල දි පිරිමසා ගැනීමට පාරිභෝගිකයින්ට සපයන ණය වේ.

බැංකු ණය සහ බැංකු අයිරා අතර වෙනස්කම්

බැංකු අයිරාව

01. බැංකු අයිරාවක් ලබා ගැනීමට ජංගම ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වේ.

02. ජංගම ගිණුම පදනම් කර ගෙන නිකුත් කරනු ලබන කෙටි කාලීන ණය විශේෂයකි.

03. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවක් සඳහා බොහෝ විට ලබා දේ.

04. වාණිජ බැංකුවලින් පමණක් ලබා දේ.

05. සාපේක්ෂව පොලිය වැඩිය.

06. ස්ථාවර අයිරාවලට සුරැකුම් අවශ්‍ය වුවත් තාවකාලික අයිරාවලට සුරැකුම් අවශ්‍ය නොවේ.

බැංකු ණය

01. බැංකු ණයක් ලබා ගැනීමට ජංගම ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ.

02. කිසියම් පොලි ප්‍රතිශතයක් යටතේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් ලබා දෙන ණය විශේෂයකි.

03. ඕනෑම අවශ්‍යතාවක් සඳහා ලබා දේ.

04. වෙනත් මූල්‍ය ආයතනවලින් ද ලබා දේ.

05. සාපේක්ෂව පොලිය අඩු ය.

06. සියලු ම ණය සඳහා සුරැකුම් පිළිබඳ අවධානය යොමු කරයි.

බැංකු ණයක් ලබා දීමේ දි මූල්‍ය ආයතනයක් සලකා බලන සාධක

01. තම මූල්‍ය ආයතනයට ණය ලබා දීමේ හැකියාව.

02. ණය ඉල්ලුම් කරුට එම ණය ආපසු ගෙවීමේ හැකියාව

03. ණය දෙනු ලබන ආයතනයේ ප්‍රතිපත්ති

04. අදාළ ණය මුදල සඳහා ලබාගත යුතු ඇප සුරැකුම්

05. අදාළ ණය මුදල යොදවනු ලබන ව්‍යාපෘතියේ ශක්‍යතා


ඉල්ලුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු අතර වෙනස්කම්

ඉල්ලුම් තැන්පතු 

01. චෙක් පොතක් ලැබේ

02. බැංකු අයිරා පහසුකම් ලබා ගත හැකි ය

03. තැන්පත් කරන මුදල් හෝ චෙක්පත් සඳහා පොලි හිමි නොවේ.

04. වාණිජ බැංකුවට පමණක් ඉල්ලුම් තැන්පතු භාර ගැනීමට අවසර ඇත

ස්ථාවර තැන්පතු

01. ස්ථාවර තැන්පතු කාඩ් පතක් ලැබේ.

02. ස්ථාවර තැන්පතුව ඇපයට තබා යම් ප්‍රමාණයක් දක්වා ණය ලබා ගත හැකිය.

03. තැන්පතු මුදලට පොලිය හිමි වේ.

 04. වාණිජ බැංකුවලට මෙන් ම අනෙකුත් මූල්‍ය ආයතනවලට ද ස්ථාවර තැන්පතු භාර ගැනීමට අවසර ඇත.


 ඉතිරිකිරිමේ තැන්පතු සහ ස්ථාවර තැන්පතු අතර වෙනස්කම් 

 ඉතිරිකිරිමේ තැන්පතු 

01. පාස් පොතක් හිමි වේ

02. වරින් වර මුදල් එම ගිණුමෙහි තැන්පතු කළ හැකි ය

03. කල් පිරෙන කාලයක් නැත

04. සාපේක්ෂව පොලිය අඩු ය.

05. මුදල් ආපසු ගැනීම වරින් වර කළ හැකි ය.

 ස්ථාවර තැන්පතු

01. කාඩ් පතක් හිමි වේ.  

02. එක ම ස්ථාවර තැන් පතෙහි වරින් වර මුදල් තැන්පතු කළ නො හැක. 

03. කල්පිරීමට නිශ්චිත කාලයක් ඇත.

04. සාපේක්ෂව පොලි ය වැඩි ය.

05. මුදල් ලබා ගැනීමට කල් පිරෙන තෙක් සිටිය යුතුය.

( කලින් මුදල් ලබා ගන්නේ නම් ස්ථාවර තැන්පතුව අවලංගු කළ යුතු ය. එහි දි ස්ථාවර තැන්පතුව ට හිමි සම්පූර්ණ කාලයට ගිවිස ගත් පොලිය නො ගෙවනු ලබයි.)

 

No comments:

Post a Comment