මුදල් යන්න අර්ථ දැක්වීම
“භාණ්ඩ හා සේවා හුවමාරුවේ දි යොදා ගනු ලබන පොදු පිළිගැනීමක් සහිත ඕනෑම දෙයක් මුදල් නම් වේ”
මෙහි දී විශේෂයෙන් ම සඳහන් විය යුතු කරුණු දෙකකි. එනම්
1. භාණ්ඩ හා සේවා හුවමාරු වේ දි අතරමැදියෙකු ලෙස යොදා ගනු ලබන
2. පොදු පිළිගැනීමක් සහිත ඕනෑම දෙයක්
හුවමාරුව සඳහා මුදල් අවශ්‍ය වීමට බලපෑ හේතු
අතීතයේ මුදල් නොමැතිව සිදු වු සෘජු හුවමාරුව එනම් භාණ්ඩයට භාණ්ඩයක් වශයෙන් හුවමාරු කර ගැනීම භාණ්ඩ හුවමාරුව ලෙස හැදින්වේ. මෙම භාණ්ඩ හුවමාරුවේ දි විවිධ දුෂ්කරතා මතු විය. එම දුෂ්කරතා වනුයේ,
01. භාණ්ඩ කුඩා කොටස්වලට බෙදීමට ඇති අපහසුතාව :- කුඩා භාණ්ඩයක් වෙනුවෙන් හුවමාරු කරන විශාල භාණ්ඩයකින් කොටසක් ලබා දීමට නො හැකි වීම. නිදසුන් ලෙස සතුන් වැනි,
02. භාණ්ඩ රැස්කර තබා ගැනීමට ඇති අපහසුව :- භාණ්ඩ ක්ෂය වීම, නරක් වීම, විශාල ලෙස ගබඩා පහසුකම් අවශ්‍ය වීම
03. භාණ්ඩ ප්‍රවාහනය කිරීම අපහසු වීම :- බර අධික වීම, විශාල වීම, විශාල භාණ්ඩ ප්‍රවාහනයට ප්‍රවාහන මාධ්‍යයන් නොමැති වීම.
04. ද්වික සමපාතයක් නො පැවතීම :- දෙපාර්ශ්වයේ අවශ්‍යතාවල එක විට ගැළපීමක් ඇති නො වීම.
05. නිශ්චිත හුවමාරු අනුපාතයක් නො පැවතීම :- භාණ්ඩයක් වෙනුවෙන් අනෙක් භාණ්ඩයෙන් දිය යුතු ප්‍රමාණය තීරණය කිරීමට නිශ්චිතව පිළිගත් අනුපාතයක් නො පැවතීම.
මේ හේතුන් නිසා භාණ්ඩ හුවමාරුවේ දී අතර මැදියෙකු ලෙස භාවිතා කිරීමට සෑම දෙනාම පිළිගන්නා මාධ්‍යයක අවශ්‍යතාව දැණුනි. එය මුදල් ලෙස කරළියට පැමිණුණි.
මෙම මුදල් වල විකාශනය ගත් විට පහත පරිදි පිළිවෙළින් දැක්විය හැක ය.
1. ද්‍රව්‍ය මුදල් භාවිතය :- ඇත් දළ, සිප්පි කටු, දුම් කොළ, සහල් වැනි
2. ලෝහ මුදල් :- රන්,රිදි,යකඩ ලෝහ කැබලි ද පසුව ඒවායින් තනා ගත් කාසි
3. ව්‍යවහාර මුදල් :- වර්තමානයේ භාවිතා කරන කාසි හා නෝට්ටු
4. බැංකු මුදල් :- වාණිජ බැංකුවල පවතින ජංගම ගිණුම්වල ශේෂ චෙක්පත් මගින් හුවමාරු වීම.
5. ආසන්න මුදල් :- කාලීන හා ඉතුරුම් තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා
6. විද්‍යුත් මුදල් :- හරපත්, ණයපත්, පෙරගෙවුම් කාඩ්පත්
මුදලේ කාර්යයන්
01. මුදලේ ප්‍රාථමික කාර්යයන් :- මුදලේ මූලික කාර්යයන් ය. ආර්ථිකයේ පැන නගින කුමන තත්ත්වයකදී වුවද මුදලේ මෙම කාර්යයන්වලට බල නොපායි. මෙම කාර්යයන් වල වැදගත්කම නොවෙනස් ව පවති. නිදසුනක් ලෙස උද්ධමන කාරි තත්වයක දි වුවද මුදලේ මෙම කාර්යයන් කාර්යක්ෂමව සිදු කරයි.
1. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම :- භාණ්ඩ හා සේවා හුවමාරුවේ දි අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමයි. නැතහෝත් භාණ්ඩ හා සේවා වල මිල ගෙවීම සඳහා භාවිතා කිරීමයි. නිදසුනක් ලෙස රු. 30000 ක් ගෙවා ජංගම දුරකථනයක් ලබා ගැනීම.
මුදල් විනිමය මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට හැකි වීමේන් පහත සදහන් වාසි සැලසී ඇත.
- භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුෂ්කරතා ඉවත් වීම.
- හුවමාරුව පහසු වීම හා කාර්යක්ෂම වීම.
- ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු ප්‍රසාරණය වීම.
2. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම :- භාණ්ඩ හා සේවාවන්හි වටිනාකම හෙවත් අගය මැනීම සඳහා මුදල් භාවිතා කිරීමයි. භාණ්ඩ හා සේවා වල මිල ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීමයි. මේ මගින් ගිණුම් තැබීම පහසු විය. ඒ බැවින් මුදල් ගිණුම් ඒකකයක් ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස සපත්තු ජෝඩුවක් රු. 1999.00 ක් ලෙස මුදලින් මිල කිරීම.
මුදල් වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම
ආර්ථික ගනුදෙනු ගිණුම් ගත කිරීමට හැකි වීම.
භාණ්ඩ හා සේවා වල වටිනාකම සැසදිය හැකි වීම
ආර්ථිකයේ ගනුදෙනු පහසු වීම.
ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂමව බෙදීමට හැකි වීම
02. මුදලේ ද්විතීයික කාර්යයන් / ව්‍යුත්පන්න කාර්යයන් :- ප්‍රාථමික කාර්යයන් තුළින් පැන නගින කාර්යයන් නිසා ද්විතීයික කාර්යයන් ඇති වේ. එබැවින් මේවා ව්‍යුත්පන්න කාර්යයන් ලෙස හැදින් වේ. එමෙන් ම ආර්ථිකයේ පැන නගින උද්ධමනකාරි තත්ත්ව වලදි මුදලේ මෙම කාර්යයන් වල වැදගත් කම යම් තරමක් අඩු වේ. එනම් ගනුදෙනුවල ට සම්බන්ධ වු එක් පාර්ශ්වයකට අවාසියක් සිදු වේ.එම කාර්යයන් වන්නේ,
3. වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම :- මුදල් රැස්කර තබා ගත හැකි ය. මුදල් යල්පැනීමකින් තොරව හා ක්ෂය වීමකින් තොරව රැස්කර තබා ගනිමින් අනාගතයේ දි භාණ්ඩ හා සේවා මිලට ගැනීමට භාවිත කළ හැකි ය. නිදසුන් ලෙස රු.10000.00 ක මුදලක් ඉතිරි කිරීම.
මුදලේ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීමෙන් ඇති වන ප්‍රයෝජන
නශ්‍ය නො වීමකින් හා යල් පැනීමකින් තොරව අනාගත වෙනුවෙන් මුදල් ඉතිරි කර තැබිය හැකි වීම.
මුදල් ශේෂ පහසුවෙන් වැඩි ඉඩකඩක් භාවිතා නොකර ලග තබා ගත හැකි වීම.
මූදල් නොවන වත්කම් වල වෙළෙදපොළ අගයේ අවිනිශ්චිත වැඩි වුව ද මුදල් වල එම තත්ත්වය අවම වීම නිසා මුදල් ලෙස ඉතිරිකර තැබිය හැකි වීම.
විලම්භිත ගෙව්ම් මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා කිරිමේ වාසි.
ණය පදනම මත භාණ්ඩ හා සේවා අලෙවි කළ හැකි වීම හා මිල දී ගත හැකි වීම.
අනාගතයේ ගෙවීමේ පද නම මත ණය ගැනීමට හැකි වීම හා පොලි ය සමග ණය මුදල් බේරුම් කළ හැකි වීම.
ණය ගනුදෙනු මත ව්‍යාපාර කටයුතු පුළුල් වීම හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම.
හොඳ මුදලක ලක්ෂණ
1. පොදු පිළිගැනීම / සාර්ව ප්‍රතිගෘහිතතාව :- භාණ්ඩ හා සේවා හුවමාරුවේ දි අතර මැදියෙකු ලෙස සියලු දෙනා පොදුවේ පිළිගැනීම
2. කුඩා ඒකක වලට බෙදිය හැකි වීම :- රු. 5000 ක් ගත් විට එය රු. 1000, රු. 500, රු.100, රු.50, රු. 20, රු. 10, රු 5, රු.1 ආදි වශයෙන් බෙදිය හැකි වීම.
3. කල් පැවැත්ම :- මුදල් ක්ෂය වීමකින් තොර ව, නශ්‍ය නොවී දිර්ඝ කාලයක් භාවිතා කළ හැකි වීම.
4. ගෙන යාමේ පහසුව :- මුදල් පහසුවෙන් ගෙන යා හැකි වීම. බර අඩු වීම, අවශ්‍ය ඉඩකඩ අවම වීම, ආරක්ෂා කාරි වීම ආදිය.
5. පහසුවෙන් හඳුනා ගත හැකි වීම :- සියලු දෙනාට ම එකම ආකාරයෙන් හඳුනා ගත හැකි වීම එනම් සමජාතිය වීම
6. අනුකරණයේ අපහසුතාව :- පහසුවෙන් මුදල් මුද්‍රණය කළ නො හැකි වීම, ඒ සඳහා ආරක්ෂණ සලකුණු යොදා තිබීම.
7. සුලභ හෝ දුලභ නොවීම :- වඩාත් සුලභ වීමෙන් මුදලේ අගය අඩුවන අතර වඩත් දුලභ වීමෙන් එහි අගය ඉහළ යන අතර ගනුදෙනු සදහා යොදා ගැනීමට නොහැකි වීම.
8. නාමික අගය ද්‍රව්‍යය අගයට වඩා වැඩි නොවීම. :- මුදල් අච්චු ගැසීමට අධික පිරිවැයක් නොවීය යතු වීම. අවම ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කර එහි මුහුණත වටිනාකම වැඩි කිරීම.
9. වටිනාකමේ ස්ථායිතාව :- මුදලේ අගය නිතර ඉහළ පහළ නොයාම.
10. නිතර නිතර අවලංගු වීම්වලට භාජනය නොවීම.
මුදල් වර්ගීකරණය
1. ව්‍යවහාර මුදල් / වලංගු මුදල් :- වර්තමානයේ භාවිතා වන මුදල් ය. එනම් රටක මූල්‍ය අධිකාරිය විසින් එරට ප්‍රධාන මුදල් ඒකකය යටතේ නිකුත් කරනු ලබන කාසි හා නෝට්ටු ය. මේවා පූර්ණ ද්‍රවශීලතාවකින් යුක්ත වේ. මෙම මුදල් නීතියානුකූල මුදල්, නියෝග මුදල්, වලංගු මුදල්, ප්‍රඥප්ති මුදල්, නිමිති මුදල් යන නම්වලින් ද හඳුන්වයි.
2. බැංකු මුදල් :- වාණිජ බැංකුවල පවතින මහජනතාවගේ ඉල්ලුම් තැන්පතුවල ශේෂයන් බැංකු මුදල් වේ. මේවා ගනුදෙනු කිරීම සදහා චෙක්පත් යොදා ගනියි. එබැවින් චෙක්පත් යනු බැංකු මුදල් ම නොවේ.
3. ආසන්න මුදල් :- ව්‍යවහාර මුදල් මෙන් 100% ක් ද්‍රවශීල නොවන පහසුවෙන් හා වැඩි අලාභයකින් තොරව කෙටිකාලයකින් මුදල් බවට පත්කර ගැත හැකි මුදල් ය. මේවා ට නිදසුන් ලෙස මහජනතාවගේ නමින් බැංකුවල පවතින ඉතුරුම් තැන්පතු, කාලීන තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා දැක්විය හැකි ය.
4. විද්‍යුත් මුදල් :- තොරතුරු තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී ඇති දේශිය මෙන් ම ජාත්‍යන්තර ගනුදෙනුවල දි ද ගෙවීම් කිරීමට යොදා ගනු ලබන මුදල් ය. නිදසුන් ලෙස ණයකාඩ් පත්, හරකාඩ් පත්, පෙරගෙව්ම් කාඩ්පත් දැක්විය හැකි ය.
විද්‍යුත් මුදල් මගින් ගෙවීම් කිරීම පහසු කිරීම සදහා පැවතිය යුතු සේවාවන් (පහසුකම්)
01. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර :- (ATM යන්ත්‍ර , Automatic Teller Machines)
02. ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර (ADM යන්ත්‍ර , Automatic Deposits Machines)
03. චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDM යන්ත්‍ර , Automatic Cheques Machines)
04. වෙළෙඳසැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල (Electronic fund transfer)
05. ටෙලි බැංකු පහසුකම් (Tele banking)
06. අන්තර්ජාල බැංකු කටයුතු (Internet banking / Online Banking)
07. ටෙලිවිෂන් බැංකු පහසුකම් (Television Banking)
No comments:
Post a Comment