සමච්ඡේදන ලක්ෂ්‍යය

සමච්ඡේදන ලක්ෂ්‍යය



             ව්‍යාපාරයක් ලාභ හෝ පාඩු නො ලබන නිෂ්පාදන මට්ටම හෝ විකුණුම් මට්ටම සමච්ඡේදන ලක්ෂ්‍යය හෙවත් ලාභ අලාභ රහිත ලක්ෂ්‍යය ලෙස හඳුන්වයි.

                මෙම ලක්ෂයේ දි මූළු ආදායම මුළු පිරිවැයට සමාන වේ. මෙම ලක්ෂ්‍යයේ විකුණුම් ඒකක ගණන හෝ නිෂ්පාදන ඒකක ගණන හෝ සමච්ඡේදන ලක්ෂ්‍යයේ ගණන වේ.

සමච්ඡේදන ලක්ෂ්‍යය සමීකරණයක් මගින් දැක්විය හැකි ය.

සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක සංඛ්‍යාව     =         ස්ථාවර පිරිවැය (F)
                                                             ඒකකයක දායකය (C)

ඒකකයක දායකය  = ඒකකයක විකුණුම් මිල (s)- ඒකකයක විචල්‍ය පිරිවැය (v)

නිදසුන්:-  නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදනයක නිෂ්පාදන ධාරිතාව මසකට ඒකක 1000 කි. එම නිෂ්පාදනයට අදාළ අනෙකුත් තොරතුරු පහත පරිදි වේ.
ඒකකයක විකුණුම් මිල රු. 10 යි.
ඒකකයක විචල්‍ය පිරිවැය රු. 5 යි.
 ස්ථාවර පිරිවැය රු. 3000 යි.
අපේක්ෂිත ඒකක සංඛ්‍යාව 800 යි.

සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක සංඛ්‍යාව     =         ස්ථාවර පිරිවැය (F)
                                                                   ඒකකයක දායකය (C)
                                                       =          3000
                                                                    5
                                                       =          600 (ඒකක)

ඒකකයක දායකය  = ඒකකයක විකුණුම් මිල (s)- ඒකකයක විචල්‍ය පිරිවැය (v)
                         =    10 – 5
                         =    5 (රුපියල්)



සමච්ඡේදන ලක්ෂ්‍ය ප්‍රස්තාරික ව නිරූපනය කිරීමට ද පුළුවනි.





ආරක්ෂිත ආන්තිකය
     ආරක්ෂිත ආන්තිකය යනු මුළු විකුණුම් ප්‍රමාණයත් සමච්ඡේදන විකුණුම් ප්‍රමාණයත් අතර වෙනසයි. මෙම ආරක්ෂිත ආන්තිකයේ දි ව්‍යාපාරය ලාභ විදින හෙයින් නිතරම ව්‍යාපාරය ආරක්ෂා වේ.

සමච්ඡේදන ලක්ෂ්‍යය ගණනය කිරීමෙන් ව්‍යාපාරයකට ලබා ගත හැකි ප්‍රයෝජන / වාසි
1. ලාභ ලැබීම ආරම්භ වන නිෂ්පාදන මට්ටම හෝ විකුණුම් මට්ටම හඳුනා ගත හැකි වීම
2. අයවැය පාලන උපකරණයක් ලෙස යොදා ගත හැකි වීම
3. එක් එක් මට්ටම් වල දි ලාභ හෝ පාඩු ගණනය කළ හැකි වීම.
4. නිෂ්පාදන සැලසුම් කරණයේ දි යොදා ගත හැකි වීම.
5. මිල නියම කිරීමේ දි උපකරණයක් ලෙස යොදා ගත හැකි වීම.
6. ව්‍යාපාරයේ ආදායම, පිරිවැය හා මිල ආදි අංශවල ඇති වන වෙනස් කම් විග්‍රහ කළ හැකි වීම.

සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහයේ සීමා
1.කෙටිකාලීන තීරණ ගැනීමට යෝග්‍ය වුව ද දිගු කාලීන තීරණ ගැන්නීමේ දි යෝග්‍ය නොවේ.
2. සමච්ඡේදන ලක්ෂ විග්‍රහයේ දි යොදා ගනු ලබන උපකල්පන නිසා ඇති කරන ලද සීමා



සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහයේ දි  යොදා ගන්නා උපකල්පන
1. සලකා බලනු ලබන නිෂ්පාදිතයේ මිල ස්ථාවර යැයි උපකල්පනය කිරීම.
2. විකුණුම් ප්‍රමාණය හා නිෂ්පාදන ප්‍රමාණය සමාන වේ යැයි උපකල්පනය කිරීම.
3. විචල්‍ය පිරිවැය කිසියම් ස්ථාවර අනුපාතයක් යටතේ වැඩි වේ යැයි උපකල්පනය කිරීම.
4. තාක්ෂණය ස්ථාවර මට්ටමක පවතින බව හා සේවක ඵලදායිතාවේ වර්ධනයක් සිදු නොවන බව උපකල්පනය කිරීම.
5. මූළු පිරිවැය ස්ථාවර පිරිවැය හා විචල්‍ය පිරිවැය ලෙස වර්ග කල හැකි බව උපකල්පනය කිරීම.
6. නිෂ්පාදනයේ සෑම මට්ටමක දීම ස්ථාවර පිරිවැය වෙනස් නොවන බව උපකල්පනය කිරීම.
7. නිෂ්පාදන මිශ්‍ර ය වෙනස් නොවන  බව උපකල්පනය කිරීම.
8. සාමාන්‍ය මිල මට්ටම වෙනස් නොවන  බව උපකල්පනය කිරීම.


No comments:

Post a Comment