7 වන නිපුණතාව :- ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන - ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය
ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පහත සඳහන් ආකාරයට වර්ග කරයි.
1. බැංකු අංශය
1. ශ්‍රී ලංකා මහ බැංකුව
2. බලපත්‍රලාභි වාණිජ බැංකුව
3. බලපත්‍රලාභි විශේෂිත බැංකු
2. තැන්පතු භාරගන්නා අනෙකුත් මූල්‍ය ආයතන
1. බලපත්‍රලාභි මුදල් සමාගම්
2. සමූපකාර ග්‍රාමීය බැංකු
3. සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති.
3. විශේෂිත මූල්‍ය ආයතන
1. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්
2. ප්‍රාථමික අලෙවිකරුවන්
3. කොටස් තැරැව්කරුවන්
4. ඒකක භාර / ඒකක භාර කළමනාකරණ සමාගම්
5. වෙළෙදපොළ අතරමැදියන්
6. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්
4. ගිවිසුම්ගත ඉතිරිකිරිමේ ආයතන
1. රක්ෂණ සමාගම්
2. සේවක අර්ථ සාධක අරමුදල
3. සේවා න්‍යුක්තිකයන්ගේ භාරකාර අරමුදල
4. අනුමත විශ්‍රාම හා අර්ථ සාධක අරමුදල්
5. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල්
ඉහත එක් එක් මූල්‍ය ආයතන ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට දායක වන ආකාරය කෙටියෙන්
01. ශ්‍රී ලංකා මහ බැංකුව :- ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා රජයේ නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කරන කේන්ද්‍රීය ආයතනය ලෙස කටයුතු කිරීම.
02. බලපත්‍රලාභි වාණිජ බැංකු :- රජයේ සහ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු විසින් ජංගම ගිණුම් හා අනෙකුත් තැන්පතු ගිණුම් පවත්වා ගෙන යාම හා ණය සැපයීම සිදු කරයි.
03. බලපත්‍රලාභි විශේෂිත බැංකු :- කාලීන හා ඉතිරිකිරිමේ තැන්පත් භාර ගනිමින්, ව්‍යවසායකයින් සඳහා ණය ලබා දෙමින් සමාගම් ප්‍රාරක්ෂණ කටයුතුවල යෙදෙමින්, කල්බදු පහසුකම් ලබා දෙමින් හා කළමනාකරණ උපදෙස් ලබා දීම.
04. බලපත්‍රලාභි මුදල් සමාගම් :- කල්බදු පහසුකම්, දේපළ හා ඉඩම් වෙළෙඳාම් කිරීම, කෙටි කාලීන ණය සැපයීම, රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම, හා කාලීන තැන්පතු භාර ගැනීම
5. සමූපකාර ග්‍රාමීය බැංකු :- සාමාජික තැන්පතු භාර ගැනීම, උකස් කටයුතු, ඉතිරිකිරිමේ හා ස්ථාවර තැන්පත් පවත්වා ගෙන යාම, සාමාජිකයින්ට විවිධ ක්ෂේත්‍ර සදහා ණය සැපයීම, සමූපකාර ජීවන ක්‍රමය ගැමි ජනතාව අතර ප්‍රචලිත කිරීම.
06. සකසුරුවම් හා ණය ගනුදෙනු සමූපකාර සමිති :- සාමාජිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම කිරීම සදහා අලෙවි මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම, උපකරණ සහන මිලට අලෙවි කිරීම, සාමාජික තැන්පතු භාර ගැනීම හා සාමාජිකයින්ට ණය සැපයීම
07. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් :-ව්‍යාපාරිකයින්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා වෙනත් වත්කම් පාවිච්චි කිරීම පිණිස ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි බද්දට ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම.
08. ප්‍රාථමික අලෙවි කරුවන් :- රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසි වලට සහභාගි වීමත්, භාණ්ඩාගාර සුරැකුම් සම්බන්ධයෙන් ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම.
09. කොටස් තැරැව්කාර සමාගම්:- සංස්ථාපිත සමාගම්වල කොටස් හෝ ණය කර විකිණීම හා මිලට ගැනීම සම්බන්ධ කටයුතු කිරීමට අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම.
10. ඒකක භාර :- කුඩා අරමුදල් සහිත ආයෝජකයින්ගේ මුදල් ඔවුන්ට ඒකක අලෙවි කර රැස් කර විශාල අරමුදලක් ගොඩනගා එම මුදල් වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජන කලඹක ආයෝජනය කර ලැබෙන ලාභ ඒකක මිල දී ගත් ආයෝජකයින් අතර බෙදා හැරීම වෙනුවෙන් කටයුතු කිරීම.
11. වෙළෙදපොළ අතරමැදියන් :- මූල්‍ය උපකරණ වෙළෙඳාම් කිරීමේ අතර මැදියන් ලෙස කටයුතු කරයි.
12. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් :- නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරයි.
13. රක්ෂණ සමාගම් :- විවිධ රක්ෂණ ඔප්පු නිකුත් කිරීම මගින් ගොඩනැගෙන අරමුදල් මූල්‍ය වෙළෙදපොළ ණය දීම හා ආයෝජනය කිරීම මගින් මූල්‍ය අතරමැදි කරණයක නිරත වේ.
14. අර්ථ සාධක හා විශ්‍රාම අරමුදල් :- රාජ්‍ය කළමනාකාරිත්වයෙන් හා පෞද්ගලික කළමනාකාරිත්වයෙන් යුත් විශ්‍රාම අරමුදල් හා අර්ථ සාධක අරමුදල් විවිධ ආයෝජන මාර්ගවල ආයෝජනය කරමින් අරමුදල වර්ධනය කර සාමාජිකයින්ට ප්‍රතිලාභ වර්ධනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව
1949 අංක 58 දරණ මුදල් නීතිගත පනත යටතේ 1950 අගෝස්තු මස 28 දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරන ලදි. මෙහි ආරම්භක අධිපතිවරයා වුයේ ජෝන් එක්ස්ටර් මහතා ය. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනු ලබන කේන්ද්‍රීය ආයතනය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය සිදු කරනු ලබන්නේ මුදල් මණ්ඩලයක් මගිනි. මෙම මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයින්
01. මහ බැංකු අධිපති
02. මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්
03. පත් කළ සාමාජිකයින් තිදෙනෙකුගෙන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක
01. ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම :-
දේශීය මුදලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම මිල ස්ථායිතාව වේ. මේ තුළින් උද්ධමන හා අවධමන තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකය පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. උද්ධමනය අඩු මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වේ. තිරසර ආර්ථික වර්ධනයක් හා සේවා න්‍යුක්තියක් ඇති කිරීමට මෙය ඉවහල් වේ.
02. මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වා ගෙන යාම :- ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ලෙස හැදින්වේ. එනම් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය ඇති කිරීම, ස්ථායිතාවට එල්ල විය හැකි තර්ජන හඳුනා ගැනීම සහ ඒවා අවම කිරීම තුළින් මූල්‍ය ක්‍රමය ශක්තිමත් කිරීම.
මේ මගින් තැන්පත් කරුවන්ට හා ආයෝජකයින්ට යන දෙපාර්ශ්වයට ම හිතකර වාතාවරණයක් උදා කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්
ඉහත දැක්වු ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා පහත සඳහන් කාර්යයන් වල නියැළේ. එම කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ දක්වයි.
01. මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්
1. මුදල් ප්‍රතිපත්ති මෙහෙය වීම
2. විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙය වීම.
3. ශ්‍රී ලංකාවේ නිල සංචිත කළමනාකරණය
4. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම
5. බැංකු හා බැංකු නොවන ආයතනවල අධික්ෂක ලෙස කටයුතු කිරීම.
6. රජයේ ආර්ථික උපදේශක , බැංකු කරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම.
7. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළෙදුන්ට නිෂ්කාශන සහ පියවීම් පහසුකම් සැපයීම.
02. මහ බැංකුවේ නියෝජ්‍යායතන කාර්යයන්
1. රජයේ ණය කළමනාකරණය කිරීම.
2. විදේශ විනිමය පාලනය
3. කුඩා පරිමාණ මූල්‍ය කරණ වැඩසටහන් සඳහා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිලිබඳ මූලික ආයතනය ලෙස කටයුතු කිරීම.
4. සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය
ව්‍යාපාරවල සාර්ථකත්වයට මහ බැංකුවේ කටයුතු ඉවහල් වන ආකාරය
01. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය(SLIPS) ක්‍රියාත්මක කිරීම
(Sri lanka inter – Bank Payment System- SLIPS)
පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදු වන ගනුදෙනු පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලැබු අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවට හා වාණිජ බැංකුවලට හවුල් අයිතියක් ඇති සීමා සහිත ලංකා ක්ලියර් ( පුද්ගලික) සමාගම මගින් පවත්වා ගෙන යාම.
ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම විසින් අන්තර් බැංකු ගෙවීම් පියවීම් කටයුතුවලට අදාළ පහත සඳහන් සේවා ඉටු කරයි.
1. චෙක්පත් හා අණකර හුවමාරුව හා ශුද්ධ ශේෂය ගණනය කිරීම.
2. එම ශුද්ධ ශේෂය මහ බැංකුව හා අනෙකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම.
ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් මෙම ගනුදෙනු සඳහා “ලංකාපේ” (Lankapay) යන සන්නම් නාමය යටතේ පොදු කාඩ් පතක් හඳුන්වා දී ඇත.
02. ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සන්නිවේදන ජාලය (SWIFT) - මගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ කටයුතු පහසු කිරීම.(Sri Lanka Worldwide Inter Bank Financial Telecommunication – SWIFT)
නවීන තාක්ෂණය පදනම් ව ලොව පුරා මූල්‍ය වෙළෙඳපොළවල් ආවරණය කෙරෙන සන්නිවේදන ජාලය මගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ ව කටයුතු කිරීම.
03. තත්කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) ක්‍රියාත්මක කිරීම මගින්.
(Real Time Gross Settlement System – RTGS)
තත්කාලීන දළ පියවීම් පද්ධතිය ශ්‍රී ලංකාවේ බැංකු අතර වටිනාකම් අධික ගෙවීම් කාල පමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතීන් යොදා ගනිමින් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමයි. මේ තුළින් ඉතා සුළු කාලයකින් පියවිය හැකි නිසා මෙම ක්‍රමය වැදගත් වේ. මෙය රට තුළ ඇති එකම විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතියයි.
04.ලේඛන රහිත සුරැකුම් තැන්පතු පද්ධතිය (SSDS) පවත්වා ගෙන යාම
(Scriptless Securities Depository System)
මුද්‍රණය කරන ලද සුරැකුම්පත් සහතික භාවිතය වෙනුවට සුරැකුම්පත් මිල දී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිත ව භාවිතා වන ක්‍රමයයි. මෙය ලංකා සෙක්‍යු (Secure) යන නමින්ද හඳුන්වයි.
මුද්‍රිත සුරැකුම් පත් ලග තබා ගැනීමේ දි හා විකිණීමේ දි ආයෝජකයාට දැරීමට සිදු වන අවදානම මේ මගින් අහෝසි වේ.
තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලේඛන රහිත සුරැකුම්පත් තැන්පතු පද්ධතිය එක්ව ගත් විට ලංකා සෙට්ල් පද්ධතිය ලෙස හඳුන්වයි.
RTGS + SSDS = Lanka settle System
ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවල බැංකුවයි.
විශේෂයෙන්ම වාණිජ බැංකුවල බැංකු කරුවා මහ බැංකුවයි. එසේ හැදින්වීමට හේතුව රටේ මූල්‍ය ක්‍රමය ආරක්ෂා කිරීමට හා ගනුදෙනුකරුවන්ට තැන්පතු ආරක්ෂා කර ගැනීම සඳහා යම් යම් පියවරයන් මහ බැංකුව ගනු ලැබීමත් ඒවා පාලනය කිරීම නිසා ය. එසේ ගනු ලබන ක්‍රියාමාර්ග
01. වාණිජ බැංකුවල අවසන් ණය දෙන්නා වශයෙන් කටයුතු කිරීම :- වාණිජ බැංකුවල ඇති වන මුදල් අර්බුද වල දී මෙන් ම හදිසි ද්‍රවශීලතා ගැටලුවල දී මහ බැංකුව විසින් පිළිගත් ඇපකර යටතේ හදිසි ණය පහසුකම් ලබා දීම සිදු කරයි.
02. වාණිජ බැංකුවලට අවශ්‍ය උපදෙස් හා අනෙකුත් සේවා සැපයීම :- සෑම වාණිජ බැංකුවක් සඳහා ම ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ සංචිත අවශ්‍යතා නීතිමය වශයෙන් නියම කරමින් පවත්වාගෙන යාම.
03. වාණිජ බැංකුවලට ගෙවීම් හා පියවීම් පහසුකම් සැපයීම :- තත්කාලීන දළ පියවීමේ පදනමක් මත වාණිජ බැංකු සදහා ගෙවීම් හා පියවීම් පහසුකම් සපයා දීම මගින් චෙක්පත්, බැංකු අණකර, මුදල් ප්‍රේෂණ වැනි ගෙවීම් නිශ්කාෂණය සදහා පහසුකම් සැපයීමේ ද ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම හරහා මහ බැංකුව සිදු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු හැසිරවීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග
1. බැංකු ප්‍රතිපත්ති පොළි අනුපාතය වෙනස් කිරීම. :- මහ බැංකුව වෙත සපයන ණය සඳහා අය කරණ පොලි අනුපාත අඩු වැඩි කිරීම.
2. විචල්‍ය සංචිත අනුපාතය වෙනස් කිරීම. :- වාණිජ බැංකු මහ ජනයාගෙන් ලබා ගන්නා තැන්පතුවලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රතිශතය අඩු වැඩි කිරීම.
3. විවෘත වෙළෙදපොළ කටයුතු :- වෙළෙඳපොළේ දි භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම් කර, රජයේ සුරැකුම්පත් අලෙවි කිරීම හා මිල දී ගැනීමේ කටයුතු සිදු කිරීම.
4. වාණිජ බැංකු අධීක්ෂණය කිරීම :- මහ බැංකුවට අයත් අධික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බැංකු කටයුතු පරීක්ෂා කිරීමට හා යම් යම් අඩුපාඩු දක්නට ලැබේ නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන් ම බලපත්‍ර අවලංගු කිරීමට ක්‍රියා කිරීම. මේ සඳහා එතැන් පරීක්ෂණය හා දුරස්ථ අධීක්ෂණය යොදා ගනි. එතැන් පරීක්ෂණය යනු බැංකුවල ගිණුම් පොත් මහ බැංකුව වෙත ගෙන්වා පරික්ෂා කිරීමයි. දුරස්ථ අධීක්ෂණය යනු මහ බැංකුවේ නිලධාරීන් වාණිජ බැංකු වෙත ගොස් එහි කටයුතු අධීක්ෂණය කිරීමයි.
ශ්‍රී ලංකා මහ බැංකුව “රජයේ ද බැංකුව” ලෙස හැදින්වීමට හේතු
01. රජයේ විවිධ ගිණුම් පවත්ව ගෙන යාම
02. රාජ්‍ය ණය කළමනාකරණය කිරීම
03. රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකයා ලෙස කටයුතු කිරීම.
04. රජය වෙනුවෙන් අන්තර් ජාතික සංවිධාන හා විවිධ රටවල් සමග කටයුතු කිරීම.
05. රජයට ණය සැපයීම ආදි කටයුතු සිදු කරන බැවින් රජයේ බැංකු කරුවා ලෙස හඳුන්වයි.
පසුගිය විභාග ප්‍රශ්න
01. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍යයතන කාර්යයන් හතරක් දක්වන්න. (2020)
02. ලංකා සෙට්ල් (Lanka Settle) පද්ධතියේ ප්‍රධාන ගෙවීම් පියවීම් පද්ධති දෙක පිළිබඳ ව විස්තර කරන්න. (2020)
03. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනු ලබන ප්‍රතිපත්තිමය පොලි අනුපාත වර්ග 4 ක් විස්තර කරන්න. (2019)
04. තම මිතුරෙකුට ලබා දී තිබු ණය මුදලකින් කොටසක් අශේන්ට ආපසු ලැබුණු අතර, ඔහු එයින් රු. 80000 ක් වටිනා පරිගණක යන්ත්‍රයක් මිල දී ගෙන ඉතිරිය බැංකුවේ තැන්පත් කළේ ය. මෙම සිද්ධියට අනුව මුදලින් ඉටු වු කාර්යයන් අනුපිළිවෙළින් දක්වන්න. (ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2019 විභාග දෙපාර්තමේන්තුව)
05. ආසන්න මුදලක ප්‍රධාන ලක්ෂණ දෙකක් සඳහන් කර ආසන්න මුදල් සඳහා නිදසුන් දෙකක් දක්වන්න. (ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2019 විභාග දෙපාර්තමේන්තුව)
06. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන ලංකා සෙට්ල් පද්ධතිය ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා ඉවහල් වන ආකාරය විස්තර කරන්න. (ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2019 විභාග දෙපාර්තමේන්තුව)
07. “බැංකුවල බැංකුව මහ බැංකුව” නම් එහි නියෝජ්‍යායතන කාර්යයන් 4 ක් ලියා දක්වන්න.
08. මහ බැංකුවේ ප්‍රධානතම කාර්යය කුමක් ද?
09. තත්කාලීන දළ පියවීම් ක්‍රමයක් මගින් බැංකු වලට අත්කර ගත හැකි වාසි 5 ක් ලියන්න.
10. තත්කාලීන දළ පියවීමේ ක්‍රමය නිසා මහජනතාවට අත්වන වාසි 3 ක් ලියන්න.
01.මුදල් සහ මූල්‍ය ආයතන - ඇගයීම්
No comments:
Post a Comment