18.1 ව්‍යාපාර සැලැස්මක මූලිකාංග


18. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීම.
18.1 ව්‍යාපාර සැලැස්මක මූලිකාංග

ව්‍යාපාර අදහසක්.
        පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක හෝ අවශ්‍යතාවක් හෝ වුවමනාවක් ඉටු කළ හෝ හැකි නිෂ්පාදිතයක් පිළිබඳ ව ව්‍යවසායකයකු තුළ ඇති වන සිතිවිල්ල ව්‍යාපාර අදහසක් ලෙස හැඳින්වේ.

ව්‍යාපාර අවස්ථාවක්
     ව්‍යාපාර අදහස් අතරින් සාර්ව හා සූක්ෂම විශ්ලේෂණයක් මගින් තෝරා ගනු ලබන ව්‍යාපාර අදහස ව්‍යාපාර අවස්ථාවක් ලෙස හැඳින් වේ.

සාර්ව විශ්ලේෂණය
          ව්‍යාපාර අදහස් සියල්ල අතරින් යෝග්‍ය ව්‍යාපාර අදහස හඳුනා ගැනීම සඳහා සියලුම අදහස් ඇගයීමට ලක් කිරීම සාර්ව විශ්ලේෂණය ලෙස හැඳින් වේ. මෙහි දි ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක ඇගයීමක් කරනු ලබයි.

සූක්ෂම විශ්ලේෂණය
       සාර්ව පරිසරය මගින් හඳුනා ගත් ව්‍යාපාර අදහස් අතරින් ව්‍යවසායකයාට වඩාත් ම ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාර අදහස තෝරා ගැනීම සඳහා ව්‍යාපාර අදහස් අභ්‍යන්තර හා ආසන්න පරිසර සාධක අනුව ඇගයීම් කිරීම සූක්ෂම විශ්ලේෂණය ලෙස හැඳින් වේ.

ව්‍යාපාර සැලැස්ම
     ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ද, ඒවා ළඟා කර ගන්නා ක්‍රමෝපායන් ද විස්තර කෙරෙන ලේඛනය ව්‍යාපාර සැලැස්ම ලෙස හැඳින් වේ. මෙය ව්‍යාපාර අදහසේ ගමන් මඟ දැක්වෙන මාර්ග සිතියමකි.

ව්‍යාපාර සැලැස්මක වැදගත්කම
1. ව්‍යාපාර සැලැස්ම මඟින් ව්‍යාපාරය අනාගතයේ යා යුත්තේ කොතැනට ද යන්න පෙන්නුම් කිරීම. ව්‍යාපාර සැලැස්ම මගින් ව්‍යාපාරයේ දැක්ම, නිෂ්ටාව, ඉලක්ක, පරමාර්ථ පැහැදිළි කිරීම සිදු වේ.

2. ව්‍යාපාර කෙරෙහි ඇල් මැති පාර්ශ්ව යන්ට ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ලබා දීම.

3. ව්‍යාපාරයක ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දි ඉදිරිපත් කළ හැකි වීම

4. ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම හා සම්පත් නිසි පරිදි හසුරුවා ලීමට පහසු වීම.


5. ව්‍යාපාරයේ සියලු දෑ උචිත ව දැක්වීම මඟින් අනාගත ව්‍යාපාරික කටයුතු මනා ලෙස ක්‍රමානුකූල ව සංවිධානය කර ගැනීමට හැකි වීම.

6. ව්‍යාපාරයේ කාර්ය සාධන ඇගයීම සඳහා සේවකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වීම.

7. නියාමනය හා පාලනය පහසු වීම.

ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීමේ දි සැලකිලිමත් විය යුතු කරුණු.
1. පැහැදිලි ඉම : - ව්‍යාපාරිකයා තමා කවරෙක් ද? ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවය කුමක් ද? ආරම්භ කරන්නේ කෙසේ ද? එය වර්ධනය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි ව දැක්වීම.

2. ගනුදෙනුකරුවෝ :- ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම හා ඔවුන් කරා ළඟා වන්නේ කෙසේ ද යන්න පැහැදිලිව දැක්වීම.

3. ඉලක්ක :- ප්‍රධාන ඉලක්ක හා ඒවා කරා ළඟා වන ආකාරය හා ඒවා වෙළෙඳ පොළට සාධාරණ ද යන්න පිළිබඳ වත් ඉලක්කවල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ වත් ඇගයීමක් කරන්නේ කෙසේ ද? යන තොරතුරු දැක්වීම.

4. අවශ්‍ය මූල්‍ය සම්පත් :- ව්‍යාපාරය ආරම්භ කර පවත්වා ගෙන යාම ‍සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය කොපමණ ද? යන්න හා අවශ්‍ය මුදල් ලබාගන්නේ කෙසේ ද යන්න දැක්වීම.

ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංග
1. මුල් පිටුව :- ව්‍යාපාරයකට සුවිශේෂ වු අනන්‍යතාව මුල් පිටුවෙන් ඉදිරි පත් කෙරේ. ව්‍යාපාරයට අදාළ සංකේත ඇතුළත් කිරීමට උචිත ස්ථානය මුල් පිටුවයි. ව්‍යාපාරය හඳුනා ගැනීමට අදාළ තොරතුරු (ලිපි යොමුව, දුරකථන අංක, ෆැක්ස්, වෙබ් අඩවිය) මුල් පිටුවේ ඇතුළත් කළ යුතු ය. සැලැස්ම පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් හෝ තොරතුරක් හෝ සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කළ යුතු පුද්ගලයන්ගේ නම් ද ඇතුළත් කළ යුතු ය.

2. විධායක සාරාංශය : - ව්‍යාපාර සැලැස්මක ඇතුළත් මූලික කරුණු සංක්ෂිප්ත කොට දක්වන කොටස විධායක සාරාංශය ලෙස හැදින්වේ. සැලැස්ම කියවන්නාට සමස්ත සැලැස්ම පිළිබඳ දළ අවබෝධයක් ලබා දෙන කොටස මෙය වන අතර මෙය සෑම විටම කෙටි හා ආකර්ෂණීය විය යුතු ය.

3. ව්‍යාපාර විස්තරය :- ව්‍යාපාරය කුමක් ද යන්න හා ව්‍යාපාරය සපයනු ලබන භාණ්ඩය හෝ සේවාව හෝ පිළිබඳ විස්තරත් එමගින් ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභත්, එහි සුවිශේෂත් වය විස්තර කෙරෙන කොටසයි. එහි පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ.
  • ව්‍යාපාරයේ නම හා ලිපිනය
  • ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ
  • ආදි කර්තෘවරු
  • සංවිධාන ව්‍යුහය
  • සංවිධාන ක්‍රමය
  • අධ්‍යක්ෂ මණ්ඩලය
  • භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර

4. අලෙවිකරණ සැලැස්ම :- වෙළෙඳපොළ තරගකාරිත්වය, අලෙවි උපාය මාර්ග, විකුණුම් පුරෝකථනය ආදි තොරතුරු සවිස්තරාත්මක ව ඉදිරිපත් කරන කොටස අලෙවි සැලැස්ම වේ
 
5. මෙහෙයුම් සැලැස්ම :- නිෂ්පාදන ක්‍රියා පටිපාටි, නිෂ්පාදන යන්ත්‍ර සහ උපකරණ, අවශ්‍ය නිෂ්පාදන ප්‍රමාණය, කර්මාන්ත ශාලාව, ස්ථාන ගත කිරීම, නිෂ්පාදනයේ දි අනුගමනය කරන ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති ආදි විස්තර ඇතුළත් කෙරෙන කොටස මෙහෙයුම් සැලැස්ම ලෙස හඳුන්වයි.

6. මානව සම්පත් සැලැස්ම :- ආයතනයක අනාගත මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමත්, එකි අවශ්‍යතා ඉටු කර ගන්නා ආකාරයත් ඇතුළත් කෙරෙන කොටස මානව සම්පත් සැලැස්ම වේ.

7. මූල්‍ය සැලැස්ම :- ව්‍යාපාරයක සියලු ම ඇස්තමේන්තු ගත මූල්‍ය තොරතුරු ඇතුළත් වන කොටස මූල්‍ය සැලැස්ම වේ.

8. ඇමුණුම් :- ව්‍යාපාර සැලැස්ම අවසානයේ ඉදිරිපත් කළ යුතු ය.
  • රූප සටහන්
  • ප්‍රස්තාර සහ වගු
  • දත්ත වාර්තා
  • ජීව දත්ත විස්තර
  • අනුපාත

ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරන විට විශේෂයෙන්
 සැලකිලිමත් විය යුතු කුරුණු

1. සිත් ඇද ගන්නා සුලු නිමාවකින් යුතු ව මුල් පිටුව සැකසීම. මුල් පිටුවේ ආයතනයේ නම, ලිපි යොමුව, දුරකථන අංක, ඊමේල් යොමුව ආදිය සඳහන් කළ යුතු ය.

2. පටුන නිවැරදි පිටු අංක සහිත ව ඉදිරිපත් කළ යුතු ය.

3. හොඳ කඩදාසියක මුද්‍රණය කර ඉදිරිපත් කළ යුතු ය.

4. වැඩි දුරටත් විස්තර කළ යුතු කරුණු ඇතොත් ඒවා ඇමුණුම් වශයෙන් ඉදිරිපත් කිරීම.

5. වැදගත් තොරතුරු මතු කර දැක්වීම.

6. සෑම ප්‍රධාන මාතෘකාවක් ම නව පිටුවකින් ආරම්භ කිරීම.

7. වගු යොදන විට හිස් තැන් නොමැති ව සැකසීම.

8. සියලු ම වගු අංක, මාතෘකා හා දත්ත මූලාශ්‍ර දක්වා තිබීම.

9. අංක භාවිතය අනුපිළිවෙළින් යෙදීම.

10. දැකුම්කලු පොත් පිංචක් ලෙස සැකසීම.


No comments:

Post a Comment